අපට මේ ගොම්මනත් අහිමි විය

අතිනතෙහි වෙලි උන් අපි දෙදෙන
නොගැටුනෙමු කිසිවකුගේ නෙත් කොනෙක
නීල රැය ලොව වෙලන නිමේෂෙක
මම මගේ කවුළුවෙන් දැක ගතිමි
ඈත කඳු සිරස් මත
හිරු ගිලෙන උළෙලසිරි

ඇතැම් විට ගිලෙන හිරු කැබැල්ලක්
දිලෙයි කාසියක් ලෙස සුරත මත

ඔබ දන්න මගේ දුක් ගුලි ගැහුණු
මිටින් ගත් මා ආත්මය සමග
ඔබ මතක ගලා එයි ඒ සැණින

එසඳ ඔබ කොහි වීද?
වෙන කවුරු එහි වී ද?
ඔහු කුමක් තෙපලේද?

කිමද ප්‍රේමය මෙතරම් ම
මා වෙලන්නේ සැණෙකින් පැමිණ
දුකින් බර මගේ සිත
ඔබ බොහෝ දුරක බව
හඟින හැම මොහොතකම

සැම විටම ගොම්මනට වැසෙන පොත
බිම වැටෙයි
නිල් කබා පොඩිය මගේ
රිදුම්ලන බලු නාම්බෙකු විලස
දෙපා ළඟ වැතිරගෙන
ගුලි ගැසෙයි

සැමවිටම,
ඔව්; සැමවිටම ඔබ
සහන් එළි ප්‍රතිරූප මකාලන තුරාවට
සන්ධ්‍යාව වසාගෙන
මගේ හිතේ ලැගුම්ලයි…

පැබ්ලො නෙරුඩා ගේ  Clenched Soul නමින් ඉංග්‍රීසියට පරිවර්තිත කාව්‍යයේ  සිංහල  අනුවාදය

ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්

Advertisements