ද බටර්ෆ්ලයිස්/ The butterflies යන සංකේත නාමයෙන් හැඳින්වෙන Patria Mercedes Mirabal Reyes, María Argentina Minerva Mirabal Reyes , Antonia María Teresa Mirabal Reyes සොයුරියන් තිදෙනා ඩොමිනිකන් ජනරජයේ (Dominc Republic) ආඥාදායක Rafael Trujillo බලයෙන් පහ කිරීමට දේශපාලනික සටනක ක්‍රියාකාරී සමාජිකාවන් වූ නිර්භීත ගැහැනුන් තිදෙනෙකි. කිසි දිනක රාජ්‍ය මට්ටමෙන් වග විභාගයකට ලක් නොවූවත් පාලකයාගේ උවමනාවට ප්‍රචණ්ඩ ලෙස පහර දී සිදු කළ ඔවුන්ගේ මරණ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩ අපරාධ නැතිකර දමන්නට ලෝකයට මහත් බලපෑමක් ඇති කරවීය. අඥාදායකත්වය නෙරපා දමන්නට දේශපාලනික සටන් වැදීමක් කළ නිසා සිරගත කොට සිටි තමන්ගේ ස්වාමිපුරුෂයන් දැක බලගන්නට හිර ගෙදරට ගොස් එන අතර මඟදී ද්වේෂ සහගත ලෙස රහසින් රැක සිටි මැරයෝ පහරදී මේ සමනලියන් තිදෙන මරා දැමූවේ 1960 දී නොවැම්බර් 25 වැනිදාය. ඔවුන්ට සිදු කළ ඒ කුරිරු අපරාධය, ඩොමිනිකන් වැසියන්ට පාලනයට එරෙහිව යන්නට අවසාන හේතුවත් සැපයනු ලැබිණි. නොවැම්බර් 25 දා ප්‍රචණ්ඩත්වයට එරෙහි අනුස්මරණීය දිනයක් ලෙස සටහන් වන්නේ, තමන්ගේ දරුවන්ට දූෂිත කෲර පාලනයක් ඇති රටක වැඩෙන්නට ඉඩ නොදෙනු පිණිස තමන්ගේ ජීවිත පරදුවට තබා හෝ සටන් කරන්නට බිය නොවුණ බව පැවසූ, ඒ කියූ අයුරින්ම රටේ නිදහස වෙනුවෙන් සටන් කළ සත්‍යවාදී වූ ඔවුන් හට සිදු වූ අසාධාරණ අපරාධය ගැන ලෝකයේ සියළුම ගැහැනුන් සහ මිනිසුන් දැනුවත් කිරීමටත් එවැනි අපරාධ අදටත් සිදුවීම හෙළා දැකීමටත්, ඒවාට එරෙහිව සටන් කිරීමෙන් මහජන අයිතිවාසිකම් අරක්ෂා කරගැනීමේ වටිනාකම නිදහස් ලෙස ඉපදෙන මිනිසුන්ට මතක් කරමින්ය. මිරබල් සමනලියෝ නියම කාන්තා විමුක්ති සටනේත්, ප්‍රචණත්වයට එරෙහි මානව හිමිකම් සුරැකීමේ ව්‍යායාමයේත් අවංක සංකේත බවට පත් වූහ. මනම්පේරි, සාගරිකා ගෝමස්, ඉසිප්‍රියා, කාන්තිලතා, ජෝති සින්ග්, ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් නයිජිරියානු දැරියන්, පක්ථානයේ ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වන අහිංසකියන්, දෑවැදි සටනට මැදි වන කාන්තාවන්, කසාදය විසින් වහලියන් කරවන සමහර ගෘහණියන් පමණක් නොව, දිනපතා ලෝකයේ කොහේ හෝ තැනක සෑම ගැහැනුන් තුන් දෙනෙකුගෙන් කෙනෙකුට විවිධාකර හිංසන සිදු වේ. සෑම පැයකම වැඩිහිටි කාන්තාවක් හෝ ගැහැනු දරුවෙකු ලිංගික බලහත්කාරකමකට ගොදුරු වේ. නොවැම්බර 25 වෙනිදා පටන් ගෙන දෙසැම්බර් 10 වනදා මානව හිමිකම් දිනය තෙක්ම දින 16 ක් පුරා මානව හිමිකම් අහිමි වීම, ඒවා සුරැකීම ගැන දරුවන් ගැහැනුන්, මිනිසුන් දැනුවත් කිරීමේ එක් රැස්වීමක් ලෝක ව්‍යප්තව සිදු වේ. කාන්තා හිංසනයට එරෙහිව නොවැම්බර් 25 වෙනිදා පටන් ගෙන දෙසැම්බර් 10 වනදා මානව හිමිකම් දිනය තෙක්ම දින 16 ක් පුරා මානව හිමිකම් අහිමි වීම, ඒවා සුරැකීම ගැන දරුවන් ගැහැනුන්, මිනිසුන් දැනුවත් කිරීමේ එක් රැස් වීමක් ලෝක ව්‍යප්තව සිදුවේ. ගැහැනිය මෙවලමක් සේ දකින්නට සමාජය පුහුණු නොකරනු පිණිස කිසිම ආගමික, සංස්කෘතික, ජාතික, ලිංගික, දේශපාලනික හේතුවක් මත ගැහැනියට හිරිහැර කිරීම වැරද්දැක් බව ලෝකය දැනුවත් කිරීම හැම කෙනෙකුගේම යුතුකමකි. පිරිමින් සමඟ කරට කර ලොව කරවන ගැහැනියට ඇති හයිය මිරබෙල් සමනලියන් සදා නොමැකෙන ලෙස සටහන් කර ඇත. නිදහස් නිතීගරුක ශීලාචාර, බුද්ධිමත් මිනිස් සමාජයක් ගොඩනැඟීමට තව කෙනෙක් ඉදිරිපත් වෙනතුරු අත්බැඳ බලා නොසිට ඔවුහු අමානුෂික පාලකයන් විසින් විනාස කරන ජීවිත ගැන රටේ අනෙක් වැසියන් දැනුවත් කරන්නට උත්සාහ ගත්තෝය. දූෂිත පාලනයට එරෙහිව යන්න්ට රටේ අනෙක් අයවත් එකරැස් කරගැනීමට කටයුතු කළෝය. හිංසනයට එරෙහිව දැනුවත් වීමත් සිද්ධ විය යුතුය. හිංසනයට එරෙහි විය යුතුය. ඒ සටනේදී මිරබෙල් සමනලියන් සිහි විය යුතුය. කෙනෙක්ට සිදු වන හිංසනයට අභියෝග කරන්නට මිරබෙල් සොයුරියන්ගේ කතාව ශක්තියක් වෙනු ඇත. පිරිමින්ට කරන්නට ඉඩ දී ඇති නිසා නොව ඔහු මෙන්ම මනුෂ්‍ය ප්‍රාණින් වන ගැහැනුන්ටත් උවමනා නිසා, කැමැති නිසා, පුළුවන් නිසා නිදහසේ ජීවත් වන්නට හැකි තත්ත්වයක් ලෝකයේ තිබීම සැබෑ කාන්තා විමුක්තිය ලෙස මම දකිමි. මානව හිමිකම් උල්ලංඝනය නොවී ජීවත්වීමට ඇති හැකියාව නැති නොවන ලෝකයක් පවත්වා ගැනීමට උත්සාහ කිරීමම හිංසනයට එරෙහි වීමකි. එසේ කිරීමට ශක්තිමත් වූ මිරබෙල් සමනලියො අමරණීය වෙති.

Advertisements